Friday, July 11, 2014

රමදාන් මුබාරක්

            රමදාන් යනු මුස්ලිම්වරුන්ගේ උපවාස කාලයයි.  නොරට සිටින මට රාමදාන් මාසයක මුසල්මානුවන්ගේ චර්යා රටාව ඉතා ලගින්ම අධ්‍යයනය කරන්නට අවස්ථාවක් ලැබුණි. එය ඇරඹී දින කිහිපයක් ගතවූ පසුමුත් මෙම ලිපිය ලිවීමට අවශ්‍ය යයි මට සිතුණි.

සෑම අවුරුද්දකම වගේ ජූනි මස අග, නැගෙන කලාවේ පලමු සඳ දැකීමෙන් රාමදාන් උපවාසය ඇරඹේ. පුරා මාසයක් ඔවුන් උපවාසය පවත්වාගෙන යයි. සමහරු පවසන පරිදි මෙම උපවාසයේ අරමුණ දුප්පතාගේ කුසගින්න අනිත් අයටත් දැනෙන්නට සැලැස්වීමයි. මේ කාලය තුල ඔවුන් ඔවුනගේ දුප්පත් අයට මුදලින් ආහාර පාන වලින් ආධාර උපකාර කරයි. තවත් අය පවසන පරිදි,  යහපත් දේවල් කිරීමේ පුරුද්ද අති කිරීමට හා අයහපත් දේවල් වලින් වැලකී සිටීම සඳහාත් උපවාසයේ යෙදීමට නියම කර ඇත්තේලු.


            මෙම උපවාස කාලය තුල සෑම දිනකම උදෑසන 3.30ට උපවාසය අරඹන අතර සවස 6.30 තෙක් වතුර පොදක් වත් බීමට තහනම්. ඔවුනගේද වචන වලින් කියතොත් කෙල ගිලින්නටවත් අවසර නැතිලු. මේ රටේ මේ කාලය තුල අපූරු නීතියක්ද ක්‍රියාත්මකවනවා. එනම් කිසිම පුද්ගලයකුට පාරකවත් වෙලඳැසලකවත් වතුර බීමට තහනම්.  කවුරු හරි කෙනෙක් වතුර බීල අහුවුනොත් රාමසාන් අවසන් වනතෙක් ඔහුට හෝ ඇයට, පොලිස් අත්අඩංගුවේ ඉන්නට පුලුවන්. අවශ්‍ය අයට ආහාරපාන ගෙදර ගෙනගොස් කාටවත් නොපෙනෙන ලෙස ගැනීමට සිද්දවෙනවා. සවස 6.00 පමන වන විට ගොඩක්දෙනා ආපනශාලා වලට යන්න පටන් ගන්නවා. සෑම ආපනශාලාවකම වගේ මුස්ලිමුන් සඳහාම විශේෂිත ආහාර බන්දේසි සුදානම් වෙනවා. ඒ කෑම බන්දේසිය නම් වෙනදාට වඩා බොහොම සරුවට පලතුරුත් සමග සකස් කර තිබෙනවා. කෙසේවෙතත් මුස්ලිම් නොවන අයට ආපනශාලා වලින් කෑම ලැබෙන්නේ, මුස්ලිම් අය ආහාර ගන්න පටන් ගත්තාට පසුවයි.



            ඊට පසු නැවතත් රාත්‍රී 10.00ට පමණ සුපිරි කෑම වේලක් ගන්නවා. මේ කෑම වේලට වටලප්පම්, පලතුරු ජාති, මස් මාංශ ඇතුලු කැවිලි පෙවිලි ජාතිද නොඅඩුව ලෑස්ති වෙනවා. අනතුරුව පාන්දර 3.00ටද තුන්වන ආහාර වේල සප්පායම් වෙනවා.


මෙම කාලය තුල වඩාත්ම අපහසුවට ලක්වන්නේ වෙනත් රටවලින් රැකියා සඳහා මෙරටට පැමිණි මුස්ලිම් නොවන අයයි. ඒ අයට උදේටවත් දවල්ටවත් ආහාර ගැනීමට කිසිම ආපනශාලවක් විවෘත කිරීමට අවසර නෑ. කලාතුරකින් ඉඳ හිට පාර්සල් විකුණන තැනක් තිබුනත්, ඒවයේ සාමාන්‍ය මිල ගණන් වගේ දෙගුණයක් අය කරනවා. මොනව කරන්නද මේක මුස්ලිම් රටක්නේ. කවුරුවත් ඉතින් අයිතිවාසිකම්, මූලික අවශ්‍යතා ඉල්ලල උද්ගෝෂණය කරන්න කෑගහන්න යන්නෙ නෑ. අපි හැමෝම ඔවුන්ගේ රටේ, ඔවුන්ට ඕනෑ ආකාරයට, සහජීවනෙන් ජීවත් වෙනවා. අන්තිමේදි මට දැණුනු දෙයක් තමයි, මුස්ලිම් අයට වඩා මුස්ලිම් නොවන හුඟ දෙනෙක් ඇත්තටම මේ මාසය පුරාවට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දිනකට වේලක් හෝ දෙවේලක් උපවාස කරන්නට සිදුවීමයි.


19 comments :

  1. ආගමික චර්යා පිළි පැදීම හොදයි සහ ඒ ඔවුන්ගේ කැමැත්ත... ඒත් මට හිතෙන්නෙ ඔවුන් කරන්නෙ ප්‍රෝඩාවක් කියල... මොකද මම දන්න විදියට අනෙක් හැම දවසකටම වඩා ඔවුන් වැඩිපුරම කන්නෙ මේ දවස් වල...
    අනික දුන්නත් යමක් දෙන්නෙ මුස්ලිමුන්ට විතරයි.. හැම දෙනාම මනුස්සයො කියනහැගීම අමතකම කරල දමන කාලයක්..
    ඊටත් තමන්නෙ ආගම් මතවාද අනුන්ට පටවන එක නං මහ ජරාවක්

    ReplyDelete
  2. හැක හැක නොමිලේම නෝම්බි ... අර අක්‍රිය දුම් පානය වගේ

    ReplyDelete
  3. අපි නං බිසිනස් නැතිව කඩත් වහනවා අනේ මේ දවස් වල.. ටික කාලයක් මම මාලිගාවත්ත පැත්තේ හිටියා. ඉතිං මාත් රමාදාන් කෙසේ වෙතත් රෑට ඇවිත් සැපට කනවා කැද බොනවා..

    ReplyDelete
    Replies
    1. මෙහේ නම් මේ දවස් වල හොඳ බිස්නස්. හැබැයි රෑට. රාත්‍රී 12.00 විතර වෙනකම් මෙහේ සෑම කඩයක්ම වගේ ඇරලා තියෙන්නෙ. අර නොමිලේ නෝම්බි අල්ලපු අය තමා වැඩිපුරම රෑට කඩ හොය හොයා ඇවිදින්නෙ. සේරම හවුස් ෆුල් නෙවැ.

      Delete
  4. ඔය කාලෙට දෙනවා කැද එකක් ඒකනං මරු...

    ReplyDelete
    Replies
    1. නලීන් ඔය කියන්නෙ පැණිසව් කැඳ එක ගැනද?

      Delete
  5. ඇයි සුපර් මාකට්වල කෑම අඩු නැතුව තියෙනව.ඇතුලෙ කන්න තහනම පමණයි.හවසට ඉෆ්තාර් වෙලාවේ හැම කදෙකම වගේ රසකැවිලි පළතුරු බන්දේසි පිටින් තියල තියෙන්නෙ එන යන මුස්ලිම්වරුන්ට කන්නටයි.ඒ අය කොහොම වෙතත් අපි නං ඔය බන්දේසි හිස් කරන්නට නොමඳ සහයක් ලබාදෙනවා.

    ReplyDelete
    Replies
    1. හැලෙපත් එහෙනම් ජයටම නෝම්බි අල්ලල වගේ. හොඳා හොඳා රමදාන් කරීම් කිව්වලු.

      Delete
  6. @මහේෂ් - සහතික ඇත්ත. මෙතන කිසිම උපවාසයක් නෑ. වෙනදට ගන්න වේල් තුන ඊට වඩා සුපිරියට සවස 6.30ට, රාත්‍රී 10.00ට හා නැවතත් පාන්දර 3.00ට ගන්නවා. වෙලාවල් විතරයි වෙනස්. උදාහරණයක් ලෙස බලන්න, උපවාස නැති කාලෙට රාත්‍රී 8.00ට කෑම ගත්තයි හිතුවොත්, නැවත උදේ 8.00 වෙනතුරු කිසිම කෑමක් නෑ. ඒකියන්නෙ, පැය 12ක් අපි රාත්‍රී කාලයේ නිරාහාරව ඉන්නවා.

    බලන්න උපවාස කාලය අරං, පාන්දර 3.30ට ආහාර ගත්තම නැවත ආහාර ගන්නෙ 6.30ට එතකොට පැය 15ත් නිරාහාරව ඉඳල. වෙනස තියෙන්නෙ පැය 3ක් පමණයි.

    @ඉවාන් - ඔව් මචං නොමිලේම අනික් උන්ටත් නෝම්බි. ඊටත් වඩා පාරෙ වතුර උගුරක් බීල අහුවුනොත් සොරිම තමා. මොනව කරන්නද අපි ඉන්නෙ උන්ගෙ රටේනෙ බං. ඉතින් උන්ගෙ නීති අපි පිලිපදින්න එපායැ. ඔය අපේ රටේ වගේ එක එක ජාතීන් වලට වෙන වෙනම නීති මෙහේ නෑ. හිතපුරා කටපුරාම සහජීවනෙන් ජීවත් වෙනවා. සහජීවනෙන් ඉන්න හැටි ඉගෙන ගන්න ඕන නම් මේ රටවල් වල නීති චර්යාවන් අධ්‍යයනය කලානම් හොඳයි.

    ReplyDelete
  7. //මොනව කරන්නද අපි ඉන්නෙ උන්ගෙ රටේනෙ බං. ඉතින් උන්ගෙ නීති අපි පිලිපදින්න එපායැ. ඔය අපේ රටේ වගේ එක එක ජාතීන් වලට වෙන වෙනම නීති මෙහේ නෑ.//

    අගනා කීමක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සා. නැවත එන්න තෙලිදිය රස බලල යන්න.

      Delete
  8. අන්න පින්වතුනි ජාතික සමඟිය. අනේ අනිච්චං!
    මේ දේවල් වලින් පේන්නෙ මුල් දේශනාව කොච්චර විකාති වෙලා තියනවද කියන එක. දුප්පතාගෙ බඩගින්න මතක් කරන්න ගිහිල්ල දුප්පතුන්ට කෑම නැති කරනව. මහරෑ නැඟිටල ඉස්මුරුත්තාව එන්න කනව.

    ReplyDelete
    Replies
    1. හබෑටම රාජ් ඔය කියන මුල් දේශනාව කොහෙද තියෙන්නෙ ඈ. අන්න පවර හිමියන්ටත් එකක් හමුවෙලා ඒකෙ සිංහල තේරුම් ලිහමින් ඉන්නවලු.

      Delete
  9. රමදාන් ගැන මේ තරම් දෙවල් නම් දැනගෙන හිටියේ නෑ.. දිගටම එන්නම්කෝ තෙලිදිය වාඩිය පැත්තේ ...

    ReplyDelete
  10. බොහොම ස්තූතියි තුෂානි ඇවිත් ගියාට. එන්න එන්න දිගටම ඇවිත් තෙලිදිය රස විඳින්න.

    ReplyDelete
  11. අද ගොඩක් දේවල් දැනගත්තා රාමදාන් ගැන thanks ඔයාට, අම්මේ කෑම ෆොටෝ පෙන්නලා අහිංසක අපිව පිස්සෝ කරන්න එපා ඈ

    ReplyDelete
  12. බොහෝම ස්තූතියි අපූර්වී. නැවත එන්න වඩිය පැත්තේ.

    ReplyDelete
  13. රචකයා මෙය වාර්ථා කර ඇති ආකාරයෙන්ම පෙනෙනවා ඉතාමත් අන්තවාදි ලෙස වාර්ථා කර ඇති බව. මෙතන යමක් ලියන්නට අදහස් කලේ සමහර කොමෙන්ට්ස් කියවීමේදි පසක් වු කාරණයක් නිසා. හුඟ දෙනෙක්ව නොමග යවන්නට සමත් සටහනක් කිව්වොත් නිවැරදියි.
    මැදපෙරදිග මාත් සංචාරය කර තිබෙනවා. උපවාසය අවසන් කරන වේලාවන් වලදී නොමිළේ කෑම සපයන ස්ථාන වැහි වැහලා. කොතනකදීවත් මුස්ලිම් අනන්‍යතාවය සළකන්නේ නෑ. ඕන තරම් කන්න පුළුවන් ඕනෑම ජාතිකයෙකුට. එළිවෙනකම් කෑම කන එක උපවාස නීතියක් නොව බඩජාරි කම. අරාබින් ඔහොම කලාට උපවාස න්‍යායන් අනුව කටයුතු කරන අයගේ ප්‍රතිශතය වැඩියි. මුස්ලිම් නොවන කවුරුවත් මෙවැනි චෝදනා කරනවා මා දැක නෑ. ලාංකික සුන්දර මිනිසුන්ගේ හිත් වලට විෂ පොවන්නේ නැතිව ලියන්නට කොතරම් දේවල් තියෙනවාද ?? නොදන්නා දේවල් ලියනවාට වඩා දන්නා දේවල් ලිවීම කොතරම් අගනේද ?

    ReplyDelete
  14. @Azlam
    පළමුව වාඩියට ගොඩවූ ඔබට ස්තූතියි.
    අන්තවාදී ද මධ්‍යස්ත ද යන වග තෝරා ගැනීමේ අයිතිය බුද්ධීමත් පාඨකයා සතුයි. මා මුසල්මානුවකු නොවුනද මුසල්මානු රටක දැනට අවුරුදු ගණනාවක සිට ජීවත් වන්නෙක්මි. මා ලැබූ අත්දැකීම මුසල්මානු ඔබ නොලැබීම පුදුමයකට කරුණක් නොවන්නේ ඔබගේ අත්දැකීම සංචාරයකට පමණක් සීමා වූ හෙයිනි.
    නොමිලේ කෑම නොහොත් නැති බැරි අයට කෑම දෙනතැන් ඉඳ හිට දකින්නට ලැබෙන බව ලිපිය සිහියෙන් කියවූ අයට වැටහෙන්නට ඇත. මුස්ලිම් අනන්‍යතාවය සොයා බලා කෑම දෙන බවක් මා කොතනකදීවත් සඳහන් කොට නැති අතර මුස්ලිම් අය කෑම ගන්නා තෙක් අනෙක් අයට බලා හිඳිමට සිදුවන බව පමණක් සඳහන් කර ඇත. මුස්ලිම් නොවන අයට ද කෑම කඩ වලට ගොස් ඉඳගතහැකි මුත් වේලාව එන තෙක් බලා හිඳීමට සිදුවීමයි මා මෙයින් අදහස් කර ඇත්තේ. අනෙක් අතට වේලසනින්ම මුසල් මානුවන් කෑම කඩ වල අසුන් ගෙන සිටීම නිසා අනෙක්ජාතීන්හට ඉඳ ගැනීමට ලැබෙන අවස්ථාව ද විරලවේ. (මන්ද අනෙක් ජාතීන් හරියටම වේලාවන් සිහි තබාගෙන කෑම කඩ වෙත ගොස් ඉඳ ගෙන සිටීමේ පුරුද්දක් නැති නිසා වේ.) මා ලැබූ අත් දැකීම් ලිවීමට මට අයිතියක් ඇති අතර මා ලියන්නේ මා ලැබූ අත්දැකීමයි. බහුතර සුළුතර ගණනය කිරීම කෙසේ වෙතත් මා සමග එකට වැඩ කරනා මුසල්මානු සගයන් සමග මා ලැබූ අත්දැකීම මෙහි සඳහන් කොට ඇත. සිංහල අවුරුදු, වෙසක්, නත්තල් ආදී අනෙකුත් උත්සව සමරන ආකාරයන් වලද නොයෙකුත් වැරදි නිතර මාධ්‍ය මගින් හා සමාජ ජාලා වෙබ් අඩවි මගින් පෙන්වා දී ඇතත් අප කිසිවිටෙකත් ඒවා සමාජයට විෂ පෙවීමක් ලෙස වැරදි අර්ථකතන ලබා දීමක් නොකෙරේ. ඒ වැරද්ද වරද්දක් හැටියට අප දකින නිසාය. ඔබ නොලැබූ ඔබ නොදන්නා අත් දැකීම මා මුසල්මානු රටක ජීවත්වන නිසා අත්විඳි නමුත් එවන් අත් දැකීමක් ඔබ නොලබන්නේ ශ්‍රී ලංකාව වැනි සහජීවනයෙන් ජීවත් වන රටක ජීවත් වන නිසාම බව මතක් කරදෙනු කැමැත්තෙමි.

    ReplyDelete

(ගෙනාපු මයියොක්කා සහ පොල් කමෙන්ටු කොටුවේ දමන්න.)